විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මූලික ආරම්භක අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද ?

වෘත්තීය චිකිත්සක ආචාර්ය කිත්මා වාසනා දහනායක

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගත් කල ඔවුන්ගේ තවත් එක් මූලික අයිතිවාසිකමක් වන්නේ ගැළපෙන අධ්‍යාපනයක් ලබා දීමයි.සාමාන්‍ය දරුවකු හට ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය මෙම කාණ්ඩයට අයත් දරුවෙකුට නොලැබීම අද සමාජයේ පැහැදිලිව දකින්නට ලැබෙන තත්ත්වයක් .

සාමාන්‍ය වර්ධන රටාවකට උරුමකම් කියන දරුවකු සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු අතර පැහැදිලි කායික, මානසික, චර්යාත්මක මෙන්ම අවබෝධාත්මක අංශවල වෙනස්කම් පවතින අතර අධ්‍යාපන ක්‍රමවේදයන්  සැකසීමේදී මේ සියලුම අංශ ගැන ඉතාමත් අවධානයෙන් සලකා බැලිය යුතුයි .

සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමවේදයට අන්තර්කරණය කළ හැකි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් යම් ප්‍රමාණයක් සිටිය ද බහුල වශයෙන්ම අපට හමුවන්නේ ඉගෙනුම් අංශයේ විවිධාකාර ගැටලු පවතින දරුවන්ය. ඔවුන් සඳහා ම සැකසිය යුතු අධ්‍යාපන ක්‍රමවේදයක් සම්බන්ධව දෙමව්පියන් ගුරුවරුන් මෙන්ම සෞඛ්‍යය කාර්ය මණ්ඩලය ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් .

විශේෂ අවශ්‍යතා  සහිත දරුවෙක් තමන්ගේ මූලික අධ්‍යාපනය ආරම්භ කරන්නේ නිවසින්. සාමාන්‍ය වර්ධන රටාවක් ඇති දරුවකුට වඩා වැඩි කාලයක් ඉගෙනීම සම්බන්ධ මූලික අවශ්‍යතාවන් සපුරන්නට ඔවුන්ට වැය කරන්නට සිදු වීම අරුමයක් නොවෙයි .කායික, මානසික අවබෝධාත්මක සහ චර්යාත්මක ගැටලු මෙන්ම සමාජයීය ආකල්ප, පහසුකම් සහ ඉඩ ප්‍රස්ථා ද මේ කාරණයේ දී එම ප්‍රමාදයට හේතු වෙනවා .

දරුවකුගේ ඉගෙනීම යනුවෙන් මූලිකවම කෙනෙක් අදහස් කරන්නේ පොතපත සහ විෂයමාලා අධ්‍යාපනය ගැන වුවත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සම්බන්ධව ඉගෙනීම කියන කාරණය ඊට වඩා පුළුල් පරාසයකට විහිදෙන එකක්.

මූලිකවම දරුවාගේ හැකියාවන් සම්බන්ධව මෙන්ම කැමැත්ත, කුසලතා සහ දක්ෂතාවන් දෙමව්පියන් විසින් අවබෝධ කරගත යුතු වෙනවා. අධ්‍යාපන ආයතනයකට එනම්, මූලිකවම  ගත් කල පෙර පාසලකට හා ඉන් අනතුරුව ප්‍රාථමික පාසලකට යවන්නට පෙර දරුවා ඉගෙනීමට සූදානම් ද ඒ සඳහා අවශ්‍ය වන පෙර පුහුණුවක් නිවසේදීම දිය යුතුද යන්න විමසා බැලීම වැදගත්.

දරුවකුගේ කායික කුසලතා හෝ හැකියාවන් විශේෂයෙන්ම ගත් කල නිවැරදි ඉරියව් ගතවීම, අත්පා හැසිරවීම් ,චාලක කටයුතු, පෑන – පැන්සල – පොත නිවැරදිව ග්‍රහණය කිරීමේ හැකියාව, සියුම් හා දළ චාලක කටයුතු, සමායෝජන ක්‍රියා ආදී බොහොමයක් කාරණා අපට මූලිකවම බලන්න සිදුවෙනවා .

ඉතින් මෙහිදී දරුවාගේ යම් කායික ගැටලුවක් තිබේ නම් එයට ප්‍රතිකාර ගන්නා අතරම නිවසේ දී දරුවාව නිවැරදි ඉරියව් ගත කිරීම් සහ සරල කායික ක්‍රියාකාරකම්වල දරුවා යෙදවීම ඉතාම වැදගත්. එය මූලිකවම අධ්‍යාපන කටයුතුවලට පෙර පුහුණුවක්. ගෘහස්ථ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් වගේම නිවසෙන් බාහිරව ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වල දරුවා යොදවා හුරු කරවීම ඉතා වැදගත්.

කායික තත්ත්වය මෙන්ම මානසික සහ චර්යාත්මක පෙර පුහුණුවත් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට ඉතා වැදගත්.  දරුවා පෙර පාසලක සිසු දරුවන් හා මුසුකර වීම තරමක් අසීරු විය හැකියි . මන්ද සාමාන්‍ය දරුවකුට වඩා ඔවුන්ගේ සමාජ අනුගත වීමේ ගැටළු රාශියක් පවතින නිසාය.

මෙහිදී දරුවාට තදබල චර්යා ගැටලු ඇත්නම් එනම් අධික කෝපවීම් ,සෙසු අයට පහර දීම සහ සපාකෑම ආදිය වේ නම් ළමා මනෝ වෛද්‍ය විශේෂඥ වරයෙකුගෙන් උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගෙන ඉන්පසු චර්යා ගොඩනැගීම් චිකිත්සක උපදෙස් මත කළ හැකියි.

ඒ වගේම සරල ක්‍රියාකාරකම් සහ සමාජයට හුරු කරවීම් උදාහරණ ලෙස : ළමා පිට්ටනි වලට, උත්සවවලට දරුවා ගෙන යෑම් ආදිය කිරීමෙන් දරුවා අනාගත අධ්‍යාපන රටාව වෙත හුරු කරන්න පුළුවන්. අවබෝධාත්මක කුසලතා යනු අධ්‍යාපනයට ඉතාම අවශ්‍ය වන දෙයක්. මෙහිදී දරුවකුගේ මතකය, අවබෝධය,තර්කානුකූල සිතීම,ගණනය කිරීම් ,වෙනස්කම් හඳුනා ගැනීම ආදී විවිධාකාර වූ කුසලතා ගැන තේරුම් ගත යුතු වෙනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවකුගේ මෙම අවබෝධතා හැකියාවන් සාමාන්‍ය දරුවකුගේ මට්ටමට වඩා වෙනස් මානයන් හි පැවතීම සාමාන්‍ය අධ්‍යාපන රටාවට එම දරුවන් යොමු කිරීමට නොහැකි වන ප්‍රධානතම ගැටළුවක් වෙනවා.

එබැවින් පෙර පාසලකට හෝ ප්‍රාථමික පාසලකට යොමු කිරීමට පෙර නිවසේදීම දරුවාගේ අවබෝධතාව වැඩි දියුණු කරන ක්‍රියාකාරකම්වලට දරුවා යොමු කරන්නට ඔබට හැකි විය යුතුයි .සරල ප්‍රහේලිකා ක්‍රියාකාරකම් ආදිය මෙහිදී ඉතා වැදගත් වෙනවා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මූලික අධ්‍යාපනයට ඔවුන් හැඩ ගැස්වීමට වෙහෙසෙන දෙමව්පියන් සැලකිලිමත් විය යුතු තවත් වැදගත්ම කාරණයක් වන්නේ ඔවුන්ගේ දෛනික කටයුතුවල දරුවා කෙතෙක් දුරට ස්වාධීන ද යන්නයි. මන්ද දරුවා අධ්‍යාපනය සඳහා පැය ගණනාවක් බාහිර ස්ථානයක ගතකරන කාලය තුළ සාමාන්‍යයෙන් කර ගත යුතු ආහාර ගැනීම , වැසිකිළි යාම ආදී අවශ්‍යතා කොතෙක් දුරට ඔවුන්ට කරගැනීමට හැකි ද යන කාරණය ද ඉගෙනීමේදී වැදගත් ස්ථානයක් ගන්නා හෙයිනි . එබැවින් දරුවාගේ වයසට හා හැකියාවට ගැලපෙන ලෙස දෛනික කටයුතුවලට දරුවා හුරු කරවීම ඉතාමත් වැදගත් වෙනවා .

ලිපියෙහි මෙලෙස පොදුවේ සඳහන් කළත් මේ දරුවා ගැන දරුවාට වෙනස් වෙන කාරණා සමූහයක් . එබැවින් ඔබගේ දරුවාගේ විශේෂ අවශ්‍යතා හඳුනා  ගැනීමත් මේ සඳහා පිළියම් වෙනමම සකසා ගැනීමත් ඔබගේ වෛද්‍යවරයා / වෘත්තිය චිකිත්සකවරයා හරහා කරගත යුතු වෙනවා.

දරුවන්ගේ සමාජ කුසලතා සහ හැකියාවන් ඔවුන්ගේ රුචිකත්වය සමග මුසු කර නිවැරදි ගැලපෙන ආරම්භක අධ්‍යාපන රටාවක ට ඔවුන් පෙළඹ වීම තරමක් වෙහෙසකාරී කාරණයක් වුවත් රැල්ලට යන අධ්‍යාපන තරගයට වඩා ඒ ප්‍රතිඵලදායක සුන්දර ගමනක් වනු නොඅනුමානයි.

කිත්මා වාසනා දහනායක
වෘත්තීය චිකිත්සක ආචාර්ය
භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය
ජාතික රෝහල
කොළඹ

පුද්ගල අවසරය ඇතිව විශේෂ වැඩසටහනකදී ලබා ගන්නා ලද ඡායාරූපය.

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate