වස පෙවුණු කෙනෙකුට පොල්කිරි පොවන්න හොඳද?

විෂවීම්

ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා

විෂවීම් ගැන කතා කිරීමේදී විවිධ විෂවීම් වර්ග තිබෙනවා. ගෙදර දොර පිරිසිදු කිරීමට භාවිත කරන පිරිසිදු කාරක දියර මෙන්ම කුඩු වර්ග, වැසිකිළි, නානකාමර පිරිසිදු කිරීමට භාවිත කරන ද්‍රව්‍ය, රෙදි සේදීම සඳහා භාවිත කරන කුඩු වර්ග.මෙම කුඩු හා දියර වර්ග අතේ තැවරීමෙන් පමණක් නොව ආග්‍රහණය කිරීමෙන් ද විෂවීම් සිදුවිය හැකිය.

එමෙන්ම තවත් සමහර අවස්ථාවලදී කුඩා දරුවන්ගේ අතට හසු වුවහොත් ඔවුන්ගේ නොදැනුවත්කමට කටට ගෙන ඒ මගින් ශරීරගත වී විෂවිය හැකිය. අප ගන්නා ආහාර පවා විෂ වූ අවස්ථා නැත්තේම නොවේ.එසේම මග තොට යන එන අතරමගදී වාහනවලින් නිකුත් වන දුම විෂවීමෙන් ද අනතුරු සිදුවිය හැකිය.

 

විෂවීමක් නිවසේදී පමණක් නොව වැඩබිමේදී පාසැලේදී මගතොටදී හෝ අප කිසිවිටෙකත් නොසිතන ස්ථානයකදී පවා මෙම විෂවීම් සිදුවිය හැකිය.

යම් විෂක් සමෙහි තැවැරුණු විටකදී

වහාම විෂ තැවැරුණු ඇඳුම් ඉවත් කරන්න. එම ස්ථානය සබන් ගා පිරිසිදු ගලන ජලයෙන් විනාඩි 15 – 20 ක් පමණ සෝදන්න.

ඇස්වල තැවැරුණු විටකදී

විෂ තැවැරුණු ඇස් විනාඩි 15 – 20 ක් පමණ පිරිසිදු ජලයෙන් හොඳින් සෝදන්න. ඇස ජලය පිරුණු භාජනයක් තුළ ගිල්වා සේදීම නොකරන්න. ඇස් සේදීමේදී රෝගියාට නිතර ඇසිපිය ගැසීමට උපදෙස් දෙන්න. කිසිදු ඖෂධ වර්ගයක් හෝ තෙල් වර්ගයක් වෛද්‍ය උපදෙස්වලින් තොරව ඇස් වලට නොදමන්න. රතු වීමක්, ඉදිමීමක්, කැවීමක්, කඳුළු ගැලීමක් හෝ මොනයම් හෝ අපහසුතාවක් දැනෙන්නේ නම්, වහාම අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යන්න.

විෂ ද්‍රව්‍ය ආශ්වාස කළ විටකදී

විෂ වර්ගවල ද්‍රව හෝ වාෂ්ප ආශ්වාස වූ විටකදී එම පුද්ගලයා වහාම එම ස්ථානයෙන් ඉවත් කරන්න. මෙමගින් තවදුරටත් විෂ ආශ්වාස වීම වළකිනු ඇත. රෝගියා වටා රැස් නොවන්න. ඉන්පසු හොඳින් පිරිසිදු වාතය ආග්‍රහණය කිරීමට සලස්වන්න.

වස පානය කළ විටකදී

පළිබෝධ නාශකයක් හෝ කෘමිනාශකයක් ශරීරගත වූ විට වමනය කිරීමෙන් වළකින්න. රෝගියාට ලුණු දියර, මධ්‍යසාර පානයන් අඩංගු සෝඩා, පොල්කිරි බීමට නොදෙන්න.  සිහිය නොමැති නම්, රෝගියා වම් ඇලයට හරවා නිකට මදක් ඔසවා තබන්න.මෙය රෝගියාගේ ස්වසන මාර්ගය අවහිර නොවන සේ  තබා ගන්න. ස්වසනය හා රුධිර සංසරණය මනාව පවත්වා ගැනීමට මෙය ඉවහල් වේ.මෙවැනි රෝගියෙකුට ප්‍රථමාධාර දෙන ගමන්ම රෝහල වෙත රැගෙන යන්න. ඔහු පානය කළ විෂ වර්ගය කුමක්ද? යන්න හඳුනා ගැනම සඳහා හැකිනම් එම විෂ බහාලූ භාජනයේ ඇසුරුම වෛද්‍යවරයාට යොමු කරන්න.

ඖෂධ විෂ වීමකදී

කිසියම් පුද්ගලයෙකු ඖෂධ වැඩි වශනේ භාවිත  කිරීම හේතුවෙන් එය විෂ වී ඇත්නම්, වහාම රෝහල් ගත කළ යුතුය. එම පුද්ගලයා පානය කළ ඖෂධයන් මොනවාද? යන්න පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාමත් ම වැදගත් ය. ඖෂධ විෂවීම් ගැන කතා කිරීමේදී පැරසිටමෝල්  විෂවීම බහුල ලෙස දැකිය හැකිය. ඖෂධ විෂ වීමේදී අක්මාවට විශාල වශයෙන් හානි සිදුවේ.

 

පුෂ්පා රම්‍යානි ද සොයිසා

ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී

හදිසි අනතුරු අංශය

කොළඹ ජාතික රෝහල

 

 

 

 

 

 

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate