වෙනස් ආකාරයට ලෝකය දකින දරුවන්

ළමාවිය හා සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයන් නිසා පීඩාවට පත්ව සිටින දරුවන් පිළිබඳව අප කොතෙකුත් අසා තිබෙනවා. ඇතැම් විට මේ ලිපිය කියවන ඔබ එවැනි දරුවකු සහිත මවක හෝ පියකු එසේත් නැත්නම් හිතවතෙකු විය හැකියි. පහත සඳහන් වන තොරතුරු මා විසින් ප්‍රතිකාර දෙනු ලැබූ විශේෂ වූ දරුවන් කිහිප දෙනෙක් ගැන.

කිත්මා දහනායක-  චිකිත්සක ආචාර්ය

සුමුදු – අවුරුදු තුනක් වයසැති දීප්තිමත් පෙනුමැති සුන්දර දැරියක්. පෙර පාසල් වියෙහි දොරකඩ සිටින ඇය කතාබහ කිරීමේදී  දුටු යම් යම් ගැටලු නිසා දෙමව්පියන් ප්‍රතිකාර වෙත ගෙන එනු ලැබුවා. එකම රිද්මයකට කතා කිරීමත් අනෙකෙකු කියනා වචන අනුකරණයක් සුමුදුගේ කතාබහේ ඇති ප්‍රධානම ගැටළුව වූවා.

නිසල් – වයස අවුරුදු පහක පාසලට අලුතින් ඇතුළත් වූ හොඳින් වැඩුණු දරුවෙක් . නිසල්ගේ මවගේ අදහස් වලින් පිළිබිඹු වූයේ ඔහු කිසිදු හැඟීමකට ඊට ගැළපෙන ප්‍රතිචාර නොදක්වන බවයි. ආදරය , සතුට මෙන්ම බිය වැනි කිසිදු හැඟීමක් මුහුණෙන් හා ක්‍රියාකාරීත්වයේ ප්‍රකාශ වීමත් තිබුණේ නැහැ.

රංග – ඉතා කලහාකාරී ක්‍රියා පැවැත්මකින් යුත් අවුරුදු 7 ක පමණ වයසැති දරුවෙක්. චර්යා රටාවේ ප්‍රබල නොගැලපීම් සේම සමාජගත වීමේ ගැටලු බොහොමයක් සමග  සඳහා ප්‍රතිකාර යොමු වූ දරුවෙක්

‘ඔටිසම්’ හෙවත් ළමා මනෝ වික්ෂිප්තභාවය, සමාජ තත්ත්වය – අධ්‍යාපන මට්ටම හෝ වත්කම් ආදී කිසිදු නිර්ණායකය ට බෙදී නොයන අතර ම ඕනෑම දරුවෙකුට මෙම තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ ඇත . පිරිමි දරුවන් අතර මෙම තත්ත්වය සාමාන්‍යෙයන් සුලභය . ‍
මෙම තත්ත්වය දරුවාගේ වර්ධන කාලය පුරාම පවතී . මූලිකවම සංවේදන පද්ධතිවල ( ඇසීම- පෙනීම- ස්පර්ශය) ගැටලු සහිත මෙවැනි දරුවන්ගේ කථන හා සන්නිවේදනයේ දී ද චර්යා රටාවේ ද නොයෙක් ආකාරයේ ගැටළු සහගත තත්වයන් දැකිය හැකියි.

සාමාන්‍ය දරුවකු යහළුවන් හා එක්වීමට, ක්‍රියාකාරකම් කිරීමට , නව මිතුරැ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට, කල්පිතයන් මවා ගනිමින් ක්‍රීඩා හා ක්‍රියාකාරකම් කිරීමට මෙන්ම ක්‍රීඩා භාණ්ඩ හා සෙල්ලම් කිරීමට නිරායාසයෙන්ම යොමු වුවත් ‘ඔටිසම්’ තත්ත්වයෙන් පෙළෙන දරුවකුගේ සාමාන්‍ය ජීවන රටාව සැකසෙන්නේ සීමිත වටපිටාවක් තුළයි .

එම නිසා මෙම දරුවන්ට ඉහත කී හැකියාවන් බොහෝ විට නොමැත. බාහිර පරිසරය හා පුද්ගලයන් සම්බන්ධව කිසිදු අවධානයක් පළ නොකරන හා නොසලකා හරින තත්ත්වයක් පෙන්වන මෙවැනි දරුවන් සෙසු පුද්ගලයන් තමාගේ රාමුවට එක් වීමට තැත් දැරීම ද දැඩි සේ ප්‍රතික්ෂේප කරයි .

සාමාන්‍ය සිරිත් විරිත්, සමාජගත නීතිරීති හඳුනා නොගන්නා ‘ඔටිසම්’ දරුවන් වාචිකව එනම්, බස හා වචන යොදා ගනිමින් අල්ප ලෙස සන්නිවේදනය කරයි . නමුත් අවාචික සන්නිවේදන ක්‍රම එනම්, අංග චලන හස්ත මුද්‍රාව ආදියෙන් සිදුකරන සන්නිවේදන හඳුනා නොගනී.
දරුවෙක් සමාජයට නිරාවරණය වීමේදී නව සිද්ධීන් ක්‍රියාකාරකම් මෙන්ම යම් යම් පුද්ගලයන් නිසාත් වික්ෂිප්තභාවයට පත් වෙයි. කලහකාරී සහ ප්‍රතික්ෂේපිත ඉරියව් මගින් චර්යාමය ගැටලු ඉදිරිපත් කළ හැකි මෙවැනි දරුවන් බොහෝ විට හුදෙකලා වීමට ඉතා ප්‍රිය කරන අතර තවකෙකු හා අන්‍යනෝන්‍ය ක්‍රියාකාරකම්වලට දැඩි සේ විරෝධය දක්වයි .

‘ඔටිසම්’ තත්වය ඇති ඇතැම් දරුවන් කුඩා කලදී වචන කිහිපයක් කථා කළ ද පසුව එය අත හැරී යනු ඇත . සමහර දරුවන් මුල් අවධියේ පටන්ම කථනයට මැලි වේ. එසේම සාමාන්‍ය දරුවකු ප්‍රිය කරන්නා වූ සරල සුන්දර ක්‍රියා , ක්‍රීඩා භාණ්ඩ, ‘ඔටිසම් ’දරුවන් ගේ අවධානයට ලක් නොවන අතර ගල් කැට, කුඩා පෙට්ටි වැනි ඒකාකාරී දේ සඳහා රුචිකත්වයක් දක්වයි.

එසේම ඒවා සිය ග්‍රහණයෙන් මුදා හැරීමටද අකමැතිය. ක්‍රීඩා සහ සෙල්ලම් කිරීමේදී නිවැරදි නීති රීති හා ආචාර ධර්ම ගැන අවධානයක් හෝ සැලකීමක් නොමැති මෙවැනි දරුවන් ඉතා කුඩා භාණ්ඩ වූ සෙල්ලම් බඩුවල පවා ඇති කුඩා කොටස් වෙත ප්‍රබල ව අවධානය යොමු කරයි.
මෙම දරුවන්ගේ චර්යාවන් හා කැමැත්ත මේ අන්දමින් දීර්ඝ ලෙස පහදන්නේ දරුවකුගෙන් තවත් දරුවකු සලකන කල පවත්නා ලක්ෂණ ඉතා වෙනස් බැවිනි. සමහර දරුවන් වෙතින් පෙන්වන  ලක්ෂණ තවත් දරුවකු වෙත නොතිබිය හැක. එම නිසා සමස්තයක් ලෙස දරුවන්ගේ තත්ත්වය හා සබැඳෙන ලක්ෂණ ගැන මනා අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ .

එමෙන්ම සමහර ‘ඔටිසම්’ දරුවන්ගේ වින්දනාත්මක භාවයන්ද ඉතා වෙනස්ය. මේ දරුවන් විදුලි පංකා, රෝද වැනි භ්‍රමණය වන වස්තූ හා භ්‍රමණ චලන වලට ඉතා ප්‍රිය කරයි . එමෙන්ම ඒකාකාරී රටා සහ ක්‍රමවේදයන්ට ඉතා ප්‍රිය කරයි.

වර්ණ හැඩ හෝ විවිධ අනුපිළිවෙල යටතේ සැකසුණු රටාවලට සෙල්ලම් බඩු පෙළගස්වන මේ දරුවෝ,එම රටා බිඳ දැමූ විට දැඩි සේ නොසන්සුන් වෙති. මෙම ක්‍රියාකාරකම්වල ද ඔවුන් නියැළෙන්නේ තනිවම ය.

‘ඔටිසම්’ රෝග ලක්ෂණ සමහර දරුවන්ගේ බහුල අතර ඇතැම් අයගේ අඩු ලෙස පවතී. මෙම දරුවන්ගේ ‘ඔටිසම්’ තත්වය හා එක් වන විවිධාකාර තවත් ගැටළු සමූහයකි. අපස්මාර ය (fits) , අවධාන ඌනතාවය (attention deficit )සහ කාංසාව (anxiety ) ඉන් සමහරකි.
සංවේදීතාව හා සංවේදන ගැටළු සලකා බලන විට මෙම ‘ඔටිසම්’ සහිත දරුවන්ගේ ඇතැම් සංවේදනවලට අධික සංවේදී වීම ද (hypersensitivity) අනෙක් ඒවාට අඩු සංවේදීතාවක් (hyposensitivity) දැක්වීම ද නිරීක්ෂණය කළ හැකිය.

උදාහරණ – ඇතැම් දරුවන් ස්පර්ශයට ඉතා අකමැති අතර ඇල්ලීම පවා ප්‍රතික්ෂේප කරයි . නමුත් සමහර දරුවන් දැඩි සේ ස්පර්ශයට ප්‍රිය  වන අතර බදා ගැනීම , තදින් ඇල්ලීම ප්‍රිය කරයි

සංවේදන ප්‍රතිචාර හා සමායෝජනය දරුවකුගේ වර්ධනයේ දී ඉතා වැදගත් වේ. මන්ද යත් බාහිර පරිසරයෙන් ලබන සංවේදන යමෙකුගේ සියලු කටයුතුවලට බලපාන හෙයිනි . මනා සමබර කායික මානසික තත්වයක් හා ජීවන රටාවක් පවත්වා ගැනීමට මෙය දැඩි සේ බලපායි.
දරුවකු නිවස, පෙර පාසල ,පාසල හා සමාජයේ හැසිරීමේදී තමා අභ්‍යන්තරයේ මනා යහ පැවැත්මක් මෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතා ද වැදගත් වේ. ‘ඔටිසම්’ දරුවන්ගේ මෙම සියලු ලක්ෂණ වර්ධනයත් සමගම අඩාල වේ . එම නිසා ඔවුන් බොහෝවිට නිවසටම සීමාවේ.
එමෙන්ම අවබෝධාත්මක ගැටලු සහ අධික අනවධානය (attention deficit) දරුවාගේ එදිනෙදා වැඩ වැඩකටයුතු ස්වාධීන කර  ගැනීමටත් බලපායි. දරුවකු වයසින් වැඩෙත් ම ස්වාධීන විය යුතුය . ‘ඔටිසම්’ දරුවන්ගේ මෙම තත්ත්වය නොමැති අතර ඔවුන් වයසින් වැඩෙත්ම දෙමව්පිය භාරකාරුවන් අපහසුතාවයට පත් වේ .

මෙම දරුවන්ගේ ගැටළු මුල් අවධියේම හඳුනා ගැනීමෙන් පසුකාලීනව ඇතිවන සංකූලතා අවම කරගත හැකිය. මෙබඳු දරුවන් සම්බන්ධව ක්‍රියාකිරීමේදී පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයක සේවය ලබාගැනීම වඩා උචිත ය.

එසේම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු, ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු , වෘත්තීය චිකිත්සකවරයෙකු ( occupational therapist), කථන හා භාෂා චිකිත්සකවරයෙකු ( speech and language therapist ) සමග දෙමව්පියන් ද එක්ව මෙම ගැටළුවලට විසඳුම් සෙවිය යුතුය. එමෙන්ම අධ්‍යාපන කටයුතු හා ක්‍රියාකාරකම් දරුවාගේ අවශ්‍යතාවට ගැලපෙන අන්දමට සැකසිය යුතු නිසා විශේෂ අධ්‍යාපන ගුරුවරයෙකුගේ දායකත්වය ද මෙහිදී ඉතා වැදගත් වේ .

දරුවාගේ සීමාවන් දකින්නට පෙර හැකියාවන් දකින්න. එය සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයකට මනා පිවිසුමක් වනු ඇත.

කිත්මා වාසනා දහනායක
වෘත්තීය චිකිත්සක ආචාර්ය
භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක විද්‍යාලය
ජාතික රෝහල කොළඹ

මෙහි එන දරුවන්ගේ නම් මන:කල්පිතය.

ඡායාරූප අන්තර්ජාලය ඇසුරෙනි.

 

Editor Health and Life

Related post

1 Comment

  • Thank’s for information’s

Leave a Reply

Your email address will not be published.

Translate