ශරීරයට දිනකට ජලය කොපමණ අවශ්‍යයදැයි ඔබ දන්නවාද?

ප්‍රජා විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන

සමෙන් ආවරණය වෙලා තිබුණත් අපේ ශරීරයෙන් සියයට 60 කටත් වඩා තියෙන්නේ ජලය. ජලය නැතිව දින තුනක් හතරක්වත් ජීවත් වෙන්න අමාරුයි.  රුධිර සංසරණයට, අපද්‍රවව්‍ය බැහැර කිරීමට උෂ්ණත්ව පාලය වගේ ම සියලුම ඉන්ද්‍රීය පද්ධතිවල ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යාවශ්‍ය වෙනවා,

ශරීරයේ විවිධ පද්ධති ගොඩනැගී ඇති සෛල හැම විටම ජලයේ ගිලිලා තියෙන්නේ. ඉතිං අපිට පිපාසය ඇති වෙනවා කියන්නේ ශරීරයේ ඇති, ජල ප්‍රමාණය අඩු වෙනවා කියන එක. ජලය ප්‍රමාණය අඩු වන විට සෛලවලට ලැබෙන ජලය අඩු වෙනවා. ඒ කියන්නේ, සෛල විජලනය වෙන්න බලනවා. එහෙම වුණොත් ඒ ඒ ඉන්ද්‍රියන්ගේ  ක්‍රියාකාරකම් අඩු වෙනවා. එය අපිට දැනෙන්නේ පළමුව පිපාසය ඇති වීමෙන් , ඊට පසු හිස බර ගතිය, මලානික බව, පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීම, සම වියළි වීම වැනි ලක්ෂණ මතු වෙනවා. එහෙම නම්, අපේ ශරීරයේ යහ පැවැත්මට ශරීරයට අවශ්‍ය පමණට සජලව තබා ගැනීමට තිබහ එනතුරු අප සිටිය යුතුද?

ඇත්තටම අප ක්‍රියා කළ යුත්තේ, තිබහ නොවන විදිහට ශරීරය රැක ගන්න. එහෙම කරන්නේ කොහොමද? දිනපතා පුරුද්දක් විදිහට දවස පුරාම වයසට කරන කාර්යයන්ට අනුව ජලය පානය කිරීමයි.

ශරීරයට දිනකට ජලය කොපමණ අවශ්‍යද?

එක් එක් වයස් අනුව ගත යුතු ජලය ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශරීරයේ බර කිලෝග්රෑම් එකකට මිලිලීටර් 35 බැගින් දවසකට ජලය පානය කළ යුතු වෙනවා.
උදාහරණයක් ලෙස ඔබේ බර කිලෝ ග්රෑම් 50 ක් නම්, දළ වශයෙන් අවශ්‍ය ජලය ප්‍රමාණය  50 x 35 = 1750 ml. ඒ කියන්නේ ලීටර්වලින් නම්, ලීටර් 1 මිලිලීටර් 750 ක්.

දළ වශයෙන් වයස් අනුව,

වයස අවුරුදු 1 – 5 අතර – මිලිලීටර් 750 – 1000 ක්.
වයස අවුරුදු 6 – 10 අතර – මිලිලීටර් 1000 – 1500 (ලීටර් 1 – ලීටර් 1.5)
වයස අවුරුදු 11 -18 අතර – ලීටර් 1.5 – ලීටර් 2

තද උණුසුම් පරිසරයක නම්, මීට වඩා සුළු ප්‍රමාණයක් ජලය පානය කළ යුතු වෙනවා. ඒ වගේ ම එම ජලය පිරිසිදු ජලය වීම අත්‍යාවශ්‍යයි. උණු කර නිවා ගත් ජලය මේ අතරින් විශේෂයි.

  වතුර ම පමණක් නොව කුරුම්බා , තැඹිලි, බෙලිමල් රණවරා වැනි පාන වර්ගයන් මේ අතරට එකතු කර ගත හැකියි.
මුත්‍රා යන වාර ගණන , මුත්‍රාවල වර්ණය අනුව අපට අවශ්‍ය ජලය ප්‍රමාණය ශරීර ගත වී ඇතිදැයි දැන ගත හැකිය.
ශරීරය වඩාත් ක්‍රියාශීලීව පවත්වා ගැනීමට ඇති හොඳම මාර්ගයක් වනනේ, නිවසේදී , පාසැලේදී, වැඩ කරන ස්ථානයේදී මෙන්ම ගමනක් යන විට මග තොටදී පානය කිරීම සඳහා වතුර බෝතලයක් රැගෙන යාමයි. පැණි බීම, රස කරන ලද පාන වර්ග ශීත කරන ලද බීම වර්ග පිපාසය අවස්ථාවලදී අපි පානයට යොදා ගත්ත ද එයින් සිදු වන්නේ, ශරීරය තව තවත් විජලනයට පත් වීමයි. එබැවින් කුඩා අවධියේ පටන්ම ඔබේ දරුවාට ජලය බීමට හුරු කරන්න. එය කළ හැකි හොඳම මාර්ගය වන්නේ, ඔවුන්ට ආදර්ශයක් වන ආකාරයට ඔබ ජලය පානය කිරීමේ පුරුද්ද ඇති කර ගැනීමයි. හොඳම පානය පිරිසිදු ජලයයි.

ශරීරයේ මනා ක්‍රියාශීලීත්වයට, සමබල ආහාර වේල වගේම පුරුද්දක් ලෙස දවස පුරාම, දවසකට පුද්ගලයෙකුට අවශ්‍ය වන ජලය ප්‍රමාණය පානය කිරීම ඉතා වැදගත්. පිපාසය එනතෙක් සිට ජලය පානය කිරීම ජීවිතයට අනතුරුදායකයි.

කෑමට පෙර ජලය පානය කිරීම සුදුසු ද?

ජලය පානය කිරීම පිළිබඳ මතිමතාන්තර අප සමාජය තුළ බහුලය. සමහරු උදේ අවදි වූ විගස වතුර වීදුරු 3 – 4 ක් පානය කළ යුතු බව විශ්වාස කරන කරන අතර කෑමට පෙර මෙන්ම කෑම අතර මැද දී ජලය පානය කළ යුතු බව සිතයි. එසේම ආහාර ගැනීමෙන් පසු වැඩිපුර ජලය පානය කළ යුතු බව ත් උණු ජලය පානය කිරීමෙන් මේද දියවන බවටත් විවිධ මත පවතී.

එම මතිමතාන්තර කෙසේ වුව දඅප පිළිගත යුතු සත්‍යයක් පවතී. එනම් දිනකට පුද්ගලයෙකුට අවශ්‍ය ජලය ප්‍රමාණය දවස පුරා පානය කළ යුතුය. පිපාසය දැනෙන තෙක් නොසිට ජලය පානය කළ යුතුය.කෑමට පෙර ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීමෙන් ගන්නා ආහාර ප්‍රමාණය ගැනීමට නොහැකි වේ. බර වැඩි, තරබාරු අයෙකු නම් ගන්නා ආහාර ප්‍රමාණය අඩු වීම තුළින් ශරීරයේ බර අඩු කර ගැනීමට පුළුවන. එමෙන්ම අනෙකුත් මතිමතාන්තර ගැන පිළිගත් විද්‍යාත්මක සාක්ෂි නැත.

එසේම උණු ජලය පානය කිරීම ශරීරයට හිතකර අවස්ථා ඇත. උගුරේ ආසාදන ඇති විට, ස්වසන ආබාධ ඇති විට උණු ජලය පානය කිරීම සුදුසු වේ. සීත පරිසරයක දී උණුසුම් ජලය පානය කිරීම ශරීරයට හිතකර ය. එසේ ම සීමාව ඉක්මවා ජලය පානය කිරීම ශරීරයට අහිතකර වෙයි.

සමහරු විවිධ විශ්වාස අනුව උදේ අවදි වූ විගස ජලය වීදුරු 6 ක් පානය කරති. මෙය එතරම් යහපත් පුරුද්දක් නොවේ. ශරීරයේ විවිධ කායික තත්ත්වයන් මත මෙයින් අහිතකර ප්‍රතිඵල ලැබිය හැකිය.

එබැවින් හොඳම පානය වන ජලය පමණ දැන ක්‍රමානුකූලව පානය කිරීම ශරීර සෞඛ්‍යය රැක ගැනීමට ඇති හොඳම විසඳුමකි.
ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට පැයකට පෙර ජලය මිලිලීටර් 500 ක් ද ක්‍රියාකාරකම් අතරතුරදී මිනිත්තු 15කට වරක් මිලිලීටර් 250 ක් බැගින් පිරිසිදු ජලය පානය කිරීම සුදුසු ය.

ප්‍රජා විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන
බොනොවන රෝග ඒකකය,
සෞඛ්‍යය අමාත්‍යංශය

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate