සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් එහෙම නැත්නම් Full Blood Count කියන්නේ මොකක්ද?

 

රවි කුමුදේශ්

අපට වැළඳෙනෙ රෝග තත්ත්වයන්වලදී යම් යම් රුධිර පරක්ෂණ කිරීමට සිදු වෙනවා. වෛද්‍යවරයා එය තුණ්ඩු කෑල්ලක ලියා දුන්න ද මේ කුමක් සදහා කරන ලද පරීක්ෂණයන් ද යන්න පිළිබදව අපිට හරි හැටි වැටහීමක් නෑ. නමුත් අපි මේ පිළබඳව යම්තාක් දුරකට හෝ දැනුවත් වන්නේ නම්, අපට පමණක් නොව වෛද්‍යවරයාට ද එය යම්තාක් දුරකට පහසුවක් වෙනවා.

ඒ නිසා අපිට නිතර අසන්නට ලැබෙන සම්පූර්ණ රුධිර පරීක්ෂාව Full Blood Count කියන්නේ මොකක්ද? කියලා විමසා බලමු.

පුද්ගලයෙකු යම් කිසි රෝග තත්ත්වයකින් පෙළෙන විට ඒ රෝග තත්ත්වය කුමක්ද? යන්න දැන ගැනීමට සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරනවා.

සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරන්නේ කුමන අවස්ථාවකදීද?

• වයස අවුරුදු 40 ඉක්ම ගිය පුද්ගලයෙකු තමන්ගේ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කර බැලීම සඳහා වෙද්‍ය නිර්දේශ මත සම්පූර්ණ රුධිර පරීක්ෂාවකට යොමු විය හැකියි. මෙසේ පරීක්ෂාවට යොමු වී ශරීරයේ තිබෙන රෝග හඳුනා ගැනීම මගින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමට පහසු වෙනවා.

• ඔබ යම් රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව වෛද්‍යවරයාට හැඟී ගිය විට එවන් අවස්ථාවකදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කර ගෙන එන ලෙස වෛද්‍යවරයා දැනුම් දෙයි.

• වෛද්‍යවරයා යම් කිසි රෝගයක් හඳුනා ගෙන තිබෙන අවස්ථාවකදී එම රෝගයට ලබා දුන් ප්‍රතිකාර සාර්ථකද? නැද්ද? යන්න නිශ්චය කර ගැනීම සඳහා ද සම්පූර්ණ රුධිර පරීක්ෂාවකට යොමු කරයි.

• එමෙන්ම ප්‍රතිකාරවල සාර්ථකත්වය මැන බැලීමට ද සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරයි.

ඔබ යම් රෝගී තත්ත්වයකින් පීඩා විඳින්නේ නම්, එහි සුල – මුල සොයා ගැනීමට හැකි නම්, වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම පහසු වෙනවා. රුධිර පරීක්ෂණයක් මගින් හෝ මුත්‍රා පරීක්ෂණයක් මගින් හෝ සෙම පටල පරීක්ෂණයක් මගින් හෝ රෝගයක නිධානය සොයා ගැනීමට පහසු වෙනවා. රුධිරයක පවතින සියලුම සංඝටකයන් හා එම සංඝටක ප්‍රමාණයන්ගේ ඇති වී තිබෙන හා ඇති වන වෙනස්කම් පරීක්ෂණයක් මගින් හඳුනා ගැනීම තුළින් ප්‍රතිකාර කිරීම පහසු වෙනවා.

පරීක්ෂණ සටහනේ HB යනුවෙන් හඳුන්වන්නේ රුධිරයේ පවතින හිමොග්ලොබින් (Hemogiobin) ප්‍රමාණය යි. මෙය ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස් වෙයි. පුරුෂයෙකුගේ රුධිරයේ පවතින හිමොග්ලොබින් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා අතර ස්ත්‍රීන්ගේ එය පහළ අගයක් ගන්නේ ය.

හිමොග්ලොබින් ගණනය කිරීමේදී ඩෙසිලීටරයක පවතින ග්රෑම් (g/dL) ප්‍රමාණය ලෙස සටහන් කරයි. පුරුෂයෙකුගේ මෙම ප්‍රමාණය 13 – 16 g/dL වන අතර ස්ත්‍රියකගේ එම අගය 12 – 15g/dL  අතර පවතී.මෙම අගයන්ට වඩා අඩුවෙන් වාර්තා වන්නේ, නම් එය රක්තහීනතාවය (Anemia) ලෙස හඳුන්වයි.

WBC – රුධිරයේ පවතින සුදුරුධිරානු ප්‍රමාණය (White Blood Count) මෙම සංඛේතයන් මගින් පෙන්වා දෙයි. පුද්ගලයෙකුගේ රුධිරයේ සාමාන්‍යෙයන් සුදුරුධිරානු 4000 – 11000 දක්වා පවතී. බැක්ටීරියා ආසාදනයකදී එය ඉහළ අගයක් ගනී.

Platelets – රුධිරයේ පවතින පට්ටිකා ප්‍රමාණයන් මෙයින් දැක්වේ. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මයික්‍රො ලීටරයක පට්ටිකා 150000 – 450000 පමණ වෙයි. ඩෙංගු රෝගය ආසාදනය කරන වෛරසය ශරීරගත වන අවස්ථාවලදී පට්ටිකා ප්‍රමාණය අඩුවේ.

DLC – රුධිරයේ අන්තර්ගත සුදුරුධිරානු ප්‍රමාණයන් මෙමගින් දැක්වේ. මෙහි සඳහන් වන අගයන් අනුව ආසාදනය වී තිබෙන්නේ බැක්ටීරියාවක් ද? වෛරසයක්ද? යන්න මෙමගින් වෛද්‍යවරයාට තීරණය කළ හැකියි. බැක්ටීරියා ආසාදනයකදී ‘නියුටොෆිල්’ නැමැති සුදු රුධිරානු වර්ගය වැඩි වන අතර වෛරස් ආසාදනයකදී වසා සෛල ප්‍රමාණයන් ඉහළ අගයක් ගන්නේ ය.

RBC – සම්පූර්ණ රුධිර පරීක්ෂාවකදී රුධිරයේ පවතින රතුරුධිරානු ප්‍රමාණයන්ගේ වෙනස්වීම් සොයා බැලීමක් කරනු ලබයි. යමෙකුට රක්තහීනතාව ඇත් නම්, රතු රුධිර සෛල මැන බැලීමෙන් ඒ බව හඳුනාගත හැකිය. පුරුෂයෙකුගේ රුධිරයේ රතුරුධිරානු මයික්‍රො ලීටරයකට සෛල මිලියන 4.5 – 6.5 අතර ප්‍රමාණයෙන් යුක්ත වන අතර එය ස්ත්‍රියකගේ සිරුරේ 4.0 – 6.5 අතර ප්‍රමාණයන්ගෙන් යුක්ත වන්නේ ය.

 

HCT – රුධිරයේ සෛල ප්‍රතිශතය මෙමගින් මනිනු ලැබේ. මෙහි ප්‍රතිශතයන් ස්ත්‍රී පුරුෂභාවය අනුව වෙනස් වෙයි. පුරුෂයින්ගේ ප්‍රතිශතය සියයට 39 – 47 ක් වන අතර ස්ත්‍රීන්ගේ එය සියයට 35 – 45 ප්‍රතිශතයකික් යුක්ත වන්නේ ය.

MCV – මෙයින් රුධිරයේ පවතින රතුරුධිරානුවල සාමාන්‍ය පරිමාව මනිනු ලැබේ. මෙහි පරිමාණයන් මනිනු ලබන ඒකකය හඳුන්වන්නේ, ෆෙම්ටෝලීටරය (FL) යනුවෙනි. ෆෙම්ටෝ ලීටරයක රතු රුධිර සෛලයන්හි සාමාන්‍ය අගය වන්නේ 79 – 93 කි. යකඩ ඌනතාවකදී මෙහි අගය අඩුවේ.

රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට පෙර මෙසේ රුධිර පරීක්ෂණයන් කර තමාගේ රුධිරයේ ඇති වී තිබෙන වෙනස්කම් කෙසේද? යන්න පිළිබඳව සාධක සහිතව පෙන්විය හැකිය.

වෛද්‍යවරයෙකු වෙත යාමට පෙර තමන්ගේ රුධිරයේ තිබෙන සංඝටකයන් පිළිබඳව වාර්තාවක් රැගෙන යන්නේ නම්, වෛද්‍යවරයාට ප්‍රතිකාර කිරීමට පහසුවේ.

උණ හෝ කල් පවත්නා කැස්ස හෝ ශරීරයේ යම් ස්ථානයක වේදනාවක් පවතින්නේ නම්, රුධිර පරීක්ෂණයක් මගින් පවතින රෝගය පිළිබඳව තහවුරු කර ගැනීම පහසුය. එමෙන්ම රෝගයට ඉක්මනින් ප්‍රතිකාර සඳහා ද යොමු වීමට ද හැකියාව පවතී.

රසායනාගාර විද්‍යාඥ රවි කුමුදේශ්

 

 

 

 

 

 

 

 

 

 

 

Editor Health and Life

Related post

1 Comment

  • Most valuable article.

Leave a Reply

Your email address will not be published.

Translate