35 ට වැඩි අයට සම්පූර්ණ රෝග පරීක්ෂාවක් කරන සුවදිවි මධ්‍යස්ථාන ගැන ඔබ දැනුවත් ද?

Close up of a doctor and patient hands discussing something while sitting at the table . Medicine and health care concept

මෙලොව උපන් සෑම සත්ත්වයෙකුටම මරණය පොදුය. එය ස්වභාවිකය. නමුත් අද වන විට එම ස්වභාවික සංසිද්ධිය අස්වාභාවික තත්ත්වයට පත්වී තිබීම ඉතාමත් කණගාටුදායකය. මීට හේතුව වී ඇත්තේ ආහාර රටාව මෙන්ම අයහපත් ජීවන රටාවන් යැයි කීවොත් නිවැරදිය.

විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර

මේ වන විට දරුණු කොරෝනා වසංගතයකින් මුළු ලොවම වෙලා ගෙන ඇත්තේ ය. කොවිඩ් වසංගතයත් සමග සමාජය පුරා කතා බහට ලක්වී ඇති ප්‍රබලම  මාතෘකාව වන්නේ බෝනොවන රෝග රැල්ලයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම රටකින්ම වාර්තා වී ඇති මරණ අතර වැඩි ප්‍රතිශතයක් වාර්තා වන්නේ බෝනොවන රෝග පවතින පුදගලයන්ය. එම නිසා බෝනොවන රෝග පවතින පුද්ගලයින්ට කොරෝනා වැළදුනහොත් ඇති වන සංකූලතා වැඩි බව මේ වන විට මැනවින් පැහැදිළි වෙයි.

මෙරට කොරෝනා ආසාදිත මරණවලින් සියයට 60 ක් පමණ වාර්තා වන්නේ බෝනොවන රෝග නිසා ඇති වූ සංකූලතා නිසාය. මෙයින් වැඩි දෙනෙකු කොවිඩ් 19 ආසාදනය වනතෙක් තමන්ට එවැනි රෝග තත්ත්වයන් පවතින බව නොදැන සිටි අය විය. එමෙන්ම තවත් සමහරු තම රෝග තත්ත්වය නිසි ලෙස පාලනය කර නොතිබීම නිසා මරණයට පත් විය.

මෙහිදී වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් පමණක් නොව අවුරුදු 35 ඉක්ම වූ සියළුම පුරවැසියන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තම ශරීර සෞඛ්‍යය පිළිබදව වැඩි අවදානය යොමු කළ යුතුය.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍යය හා සබැඳි තිරසාර සංවර්ධන ඉලක්ක හා සෞඛ්‍යය ආවරණය සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍යය ආරක්ෂණ පද්ධතියක් අත්‍යාවශ්‍ය බව මේ වන විට හඳුනාගෙන ඇත. සෞඛ්‍යය අමාත්‍යංශය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය ප්‍රාථමික සෞඛ්‍යය ආරක්ෂණය ශක්තිමත් කිරීම පිණිස පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කළේ මීට අවුරුදු කිහිපයකට පෙරය. ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණු වන්නේ ජනතා කේන්ද්‍රීය ප්‍රාථමික සෞඛ්‍යය. ආරක්ෂණ සේවා උපයෝජනය හා ඒවායේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමයි.

ලියාපදිංචි වීම

දිවයින පුරා ප්‍රාථමික රෝහල් 1030 ක් කේනද්‍ර කර ගනිමින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර  බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. සෑම රෝහලකම බාහිර රෝගී අංශයට අමතරව සුවදිවි මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාව වැඩිකිරීම මේ මගින් සිදුවේ. සුවදිවි මධ්‍යස්ථාන දිවයිනේ ප්‍රාථමික රෝහල් 300 ක පමණ මේ වන විට ක්‍රියාත්මක වෙයි. එය ක්‍රියාත්මක වන රෝහල් ආශ්‍රිත පුද්ගලයින්ට ඒ සදහා ලියාපදිංචි වීමට දැනටමත් අවස්ථාව උදා වී පවතී. ඒ සදහා තමන්ට අයත් රෝහල දැන ගැනීමට www.pssp.health.gov.lk වෙබ් අඩවියට පිවිස තමාට අදාළ සුවදිවි මධ්‍යස්ථානය තෝරා ගෙන එහි ගොස් ලියාපදිංචි විය හැකි බව ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කළේ ය.

එම සුවදිවි මධ්‍යස්ථානවල වයස අවුරුදු 35 ට වැඩි සියලුම පුරවැසියන් ලියාපදිංචි කර ගැනීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වෙයි. එහි ලියාපදිංචි වන සෑම පුද්ගලයෙකුම සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරන අතර එහිදී ඔහුට හෝ ඇයට පවතින සෑම රෝගයක් පිළිබදව තොරතුරු ඇතුළත් කුඩා පොත් පිංචක් ලබා දෙනු ඇත. එය රෝගියාගේ ලියාපදිංචි බලපත්‍රයයි. එය සුරැකිව තමා සතුව තබා ගත යුතුය. තමාට ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයකදී යම් කිසි රෝග තත්ත්වයක් ඇති වුවහොත් ළගම ඇති රෝහලට ඇතුළත් විය හැකිය. එහිදී තමාගේ රෝග ඉතිහාසය පිළිබද සියළුම තොරතුරු ළබා ගැනීමට එම පොත උපකාරී වනු ඇත. මෙය තමා ලියාපදිංචි වූ රෝහලේ පමණක් නොව දිවයිනේ ඕනෑම රෝහලකට ඇතුළත් වීමේදී ප්‍රයෝජනවත් වේ. එපමණක් ද නොව ඔවුන්ගේ සියලුම දත්ත එක්රැස් කර ජාලගත කිරීමටක් ද සිදුවේ.

මෙම ව්‍යාපෘතිය මීට වසර කිහිපයකට ඉහතදී ආරම්භ කළ ද කොරෝනා වසංගතය නිසා එම කටයුතුවල සුළු අඩාල වීමක් සිදුවූ බවත් මෙය මැනවින් ක්‍රියාත්මක වූයේ නම්, කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සංකූලතා මතුවූ බොහෝ බෝනොවන රෝගීන් විශාල සංඛ්‍යාවක්  ආරක්ෂා වීමට අවස්ථාව තිබූ බව ත් ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කළේ ය.

 

 

Editor Health and Life

Related post

Leave a Reply

Your email address will not be published.

Translate